පැට්‍රීෂියා නැන්දා දැන් අපෙන් වෙන්වී වසර 6 ක් පමන වන්නට ඇත. ඇය මගේ අයියාගේ නැන්දම්මායි. අප වෙනුවෙන් ගස් ගල් පෙරලා කඳු සමතලා කල අපේ අම්මාට වඩා ඇය හාත්පසින්ම වෙනස්ය. එහෙත් ඇය අප සැමටම තබා ගිය මතකයන් ඕනෑම රළු පරළු මොහොතක සිත නිවාලන්නට සමත්ය.
මා දන්නා හැටියට ඇගේ මුළු ජීවිත කාලයම, කිසිවකුගෙන් කිසිවක් නොඉල්ලා, කිසිවෙකුට කරදරයක් නොවී ගත කලාය. ඇගේ විවාහය ඈට ඈ ඇදහූ ආගම අහිමි කලාය. ඇගේ බොදු සැමියා විවාහයත් සමගම ඇගේ කතෝලික ඇදහිල්ල ට තිත තැබුවේය. මෙය දැන් නම් ඉතා කුරිරු දෙයක් ලෙස පෙනෙන්නට ඉඩ ඇතත් අප ඒ දෙස බැලිය යුත්තේ ඒ යුගයේ සිතුම් පැතුම් අනුව යයි සිතමි. ආගමික සංහිඳියාව ගැන දැන් තරම් වත් හැඟීමක් නොතිබි එකල, විවාහය කෙනෙකුගේ භක්තිවන්ත භාවයේ අවසානය බවට පත් වුන අවස්ථා එමටය.
පැට්‍රීෂියා නැන්දා ට එලෙස සිය ආගම අහිමි කරනු ලැබීම නිසා මගේ අයියා විවාහ වූ අක්කා බොදුනු විය. ඇගේ පියා පන්සල් ගියේද, බුද්ධාගම ඇදහුවේදැයි මම නොදනිමි. එහෙත් පැට්‍රීෂියා නැන්දා නම් කිසි දිනක සිය කිතුනු බැතිය අත් හලේ යයි නොසිතමි.
ඇගේ සැමියා මිය යාමෙන් පසු දරුවන් ගේ රැකවරණයට පත්ව මගේ අයියාගේ නිවසෙහි ජීවත් වූ පැට්‍රීෂියා නැන්දා නැවතත් බාධාවකින් තොරව දෙවියන් යදිනු දැක ඇත්තෙමි. ඈ දරු මුනුපුරන් කෙරෙහි දැක්වූ ආදරය නිර්මල එකකි. කිසිවකුට තරවටු කරනු හෝ ඇගේ මතයේ එල්බ සිටිනු දැක නැත්තෙමි. ඇය සියලු දෙනා ට සමාව දුන් අයෙක් විය. බිතු සිතුවමක් මෙන් කිසිවිටක පිටු නොපෑ ඇගේ සැබෑ අව්‍යාජත්වය මා දකින්නේ සිද්ධි කිහිපයක් ඇසුරෙනි.
ඇයට යහපත් අයියා කෙනෙකු සිට ඇත. ඔහු නමින් තිමෝතියස් පෙරේරා විය. මේ සටහන තබන්නේ පැට්‍රීෂියා නැන්දාට මෙන් ම ඔහුටද උපහාරයක් ලෙසිනි. තිමෝතියස් පෙරේරා චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැළුනු කෙනෙක් බව දනිමි. දෛව යෝගය නම් චිත්‍රපටයේ ‘උප ලේනා’ නම් සැලකියයුතු චරිතයකට පණ දී ඇත්තේ ඔහුය. ඊට අමතරව චිත්‍රපට වල තිරයෙන් පසුපස සැලකිය යුතු කාර්ය බාරයක් ඔහු විසින් ඉටු කර ඇත. මම ඒගැන වැඩි දුර නොදනිමි. මා තිමෝතියස් පෙරේරා දැක නැත. මේ සමග ඇති පින්තූරයේ “ඩයලොග් මාස්ටර්” ලෙස පොතක් අතැතිව සිටින්නේ ඔහුයි!

පැට්‍රීෂියා නැන්දලා එකල බොහෝ මධ්‍යම පාන්තිකයින් මෙන්, විවාහයෙන් පසු තැන තැන කුලී නිවැසියන් ලෙස ජීවත්ව ඇත. එකල දැන් මෙන් කුලී නිවෙස් සෙවීම එතරම් අපහසු නොවීය. එක නිවසක අවුරුදු ගණනාවක් පදිංචිව සිටීමත් අරුමයක් නොවීය. අත්තිකාරම් , “කී මනී” යනාදිය කෙනෙකුට ඔරොත්තු දෙන අන්දමෙන් තිබුනි. ඒ නිසා සමහරු තමන් ගේ නිවෙස් තිබියදීත්, තවත් සමහරු නිවසක් ඉඳි කිරීමේ කිසිදු උවමනාවක් නැතිවත්, ජීවිත කාලයම කුලී නිවෙස් වල ගෙවා දැමූහ. නිවාස ණය ක්‍රම තිබුනේම නැති තරම්ය. එනිසා නිවෙස් ඉඳි කෙරූවෝ සෑහෙන මූලික ධනස්කන්ධයක් අතැතිව ඒ කාරියට අත තැබූවෝ වූහ. ගඩොලින් ගඩොල හෙමින් හෙමින් ගෙවල් තැනුවන් ද නොසිටියේ නොවේ. එහෙත් පැට්‍රීෂියා නැන්දාගේ සැමියා එහෙව් අයෙකු නොවූ බවයි මා දන්නා තරම නම්.
ඉතින් පැට්‍රීෂියා නැන්දලා ලංකාවේ නොයෙක් කොදෙව් වල කුලී නිවෙස් වල පදිංචි වෙමින්, හරිමින් යන කල අපේ පවුලද එලෙසම කුලී ගෙන් ගෙට යමින් අවසන එකම පෙදෙසක පදිංචි වීමේ අවසන් ප්‍රතිඵලය තමා මගේ අයියා සහ පැට්‍රීෂියා නැන්දාගේ දුවත් අතර හමුව ! ඒ පන්නිපිටියේදීය .
පැට්‍රීෂියා නැන්දලා නැවත කුලී නිවෙස් වල පදිංචි නොවූහ.ඇගේ පිහිටට ආවේ කලින් සඳහන් කල තිමෝතියස් අයියාය. ඔහු ඇයට නිවසක් මිලදී ගෙන දුන්නේය. මා දන්නා හැටියට ඔහු සොයුරු සොයුරියන්ට ආදරයෙන් සිටි අයෙකි. එ නිසාම විවාපත් නොවීලු.එහෙම හිතු හැටියේ නිවෙසක් මිලදී ගෙන දීමට තරම් ධන කුවේරයකු නොවුනත්, තිමෝතියස් අයියා කලක සිට නංගී ගැන කනස්සල්ලෙන් පසුවන්නට ඇත, කුලී නිවෙස් වල ජීවත් වීම එකල සාමාන්‍ය දෙයක් වුවත් එය පහසු දෙයක් යයි වරදවා සිතන්නට එපා. අදටත් වඩා නිවෙස අයිතිකරු සිය කුලී ගෙවල් වතු පිටි වල රවුම් ගසමින් සිය ආධිපත්‍යය පෙන්වූ යුගයකි එය. මා කුඩා කල අප සිටි කුලී නිවසක අයිතිකරු දවාලක කිසිදු ආරාධනාවක් නොමැතිවම ගොඩ වැදී ” මොකද මේ මකුලු දැල් කඩලා නැත්තේ” කියා අම්මාගෙන් විමසූ හැටිත්, අම්මා අසරණ වූ සැටිත් එවකට පලමු ශ්‍රේණියේ සිටියත් මට ද එය දැනුනු හැටිත් අද මෙන් මතකයි.
විදේශයක ජීවත් වන මගේ යහළුවකු ලංකාවේ ඇති සිය මහ ගෙය පිරිමි දරුවන් වන තමා හා මල්ලී අතර බෙදී යා යුතු බවට රණ්ඩු කොට එහිද ඉඩමේ ඉදිරි කොටස සහ පසු පස කොටස කාසියේ වාසිය අනුව තීරණය කරවා ගන , ඔප්පු තිරප්පු ලියවාගන නැවත විදේශ ගත වූවේය. නිවසේ එවකට විවාපත් නොවූ අක්කලා දෙදෙනකුත් හන්දිපත් රුදාවෙන් අපමණ දුක් විඳින මව ත් පමණි ජීවත් වූවේ. ඒ සිද්ධියෙන් පසු ඔහු ගැන මා තුල ඇතිවූ කලකිරීම කිසිදා අඩුවන්නක් නොවේ.
තිමෝතියස් අයියා නම් එහෙම නොවේ. ඔහු මහන්සියෙන් ඉපැයූ දෙයින් නංගීගේ ජීවිතයට සාමය ගෙන ආවේය. ඒ නිවස පැට්‍රීෂියා නැන්දා ගේ දරුවන්ට මහත් අස්වැසිල්ලක් විය. මගේ අයියා ගේ කුඩා පවුල ඔවුන්ගේ නිවෙස ගොඩනගන කාලයේ ම ජීවත් වුවේ එහිය. එමෙන්ම පැට්‍රීෂියා නැන්දාගේ තවත් පුතෙකුත් ඔහුගේ පවුල සමග කාලයක් තිස්සේ ‘ඉගිලෙන්නට’ තරම් සවියක් එනතුරුත් පදිංචිව සිටියේ එහිය. ඒ අන්දමින් බලන කල තිමෝතියස් මාමා තවත් පවුල් දෙකකට නිවහන් සාදාදීමට අනියමින් උදව් කොට ඇත. මෙවන් මිනිසුන් ගේ සුවඳ සදා කල්හිම පවතියි, මා ඔහු දැක නැතත් ඔහුට මේ උපහාර සටහන තබන්නේ ඒ නිසයි.
මේ සමග පලවන ඡායාරූපය 1982 ජනවාරි 21 වනදා පලවූ ‘සිත්සර’ නම් සිනමා පුවත් පතකට තිස්ස අබේසේකර විසින් ලියූ ලිපියක් සමග පලවූවකි. මේ පත්තරය පැට්‍රීෂියා නැන්දා අත පත් වූවේ කෙලෙසකදැයි නොදනිමි. මා අනුමාන කරන අන්දමට ඒ වන විට තිමෝතියස් මාමා මිය ගිහින් ( ?).සිය අයියාගේ ඡායාරූපය දැක එය සුරැකිව තබාගත් ඇය සතුව ‘තිමෝතියස් අයියාගේ’ වෙනත් කිසිම සේයාරුවක් නොතිබිනි.පසුකලක එය ඡායා පිටපත් කරන්නට ගොස් මගේ අයියා අතින් මේ පුවත් පත් පිටුව නැතිවී , ඉමහත් වෙහෙසක් දරා මෙය නැවත සොයා ගත්තේ පැට්‍රීෂියා නැන්දා ට නොදැනෙන ලෙසය. මේ පත්තරය පැට්‍රීෂියා නැන්දා විසින් අවසාන දින දක්වාම සුරැකිව තබා ගැනුනු වස්තුවක් විය.
පැට්‍රීෂියා නැන්දා , අන් අය මෙන් ජීවිතය ගැන කිසි කලක මැසිවිලි නැගුවේ නැත. ඇය ඉතා සිහින් කටහඬින් අවශ්‍ය දෙයට පමණක් කතා කලාය. අපේ අයියාගේ නිවහන තුල කිසිවකුට කරදර නොකොට සාමකාමීව විසුවාය. ඇගේ හිත කනස්සලු කල එකම එක් දෙයක් පමණි තිබුනේ. එනම් කලකට පෙර ඇය පල්ලියෙන් ඉවත් වූ නිසා නැවත එයට ඇතුලත් වන්නට නොහැකිව තිබි ලතැවිල්ලයි. මිනුවන්ගොඩ පල්ලියේ සුසානයේ භූමදානය වන්නට නොහැකි වේයයි ද ඈ කිහිපවරක් කියා ඇත. පල්ලියේ පොතකට නැවත නම ඇතුලත් කලයුතුව තිබිනි.
මෙවන් සංවේදී දේවල් පැහැර නොහරින අයියා පල්ලියේ පියතුමා හමුව කතාකොට නැවත ඇය පල්ලියට අනුයුක්ත කරන්නට වැඩ සැලසුවේය. ඇගේ ජීවිතයේ කෙනෙකුගෙන් උදව් උපකාර ඉල්ලූ අවස්ථා අතලොස්සෙන් එකකි ඒ. ඇය ඒ ගැන සැබවින්ම සතුටු වූවාය.
ඇය සිය සිරුරෙන් නිදහස් වන්නට පෙර ඈ සතු සැමදෙයම දරු මුනුපුරන් ට ලබා දුන්නාය ඉමහත් ධනස්කන්ධයක් නොවූවත් තුටු සිතින් ඈ සියල්ලෙන්ම මිදුනාය. මෙරට සිටි දරු මුනුපුරෝ හැමදෙනම අවසානයේ ඇගේ ඇඳ අසල සිටියෝය. සැමට කතා කල ඈ අවසන් වරට ඇගේ අසනීප තත්ත්වය නිසා පැමිණ වැඩ කල ඇගේ වැඩිමහල් දුවට සමු දුන්නාය. ඉන් පසු සැමට කීවේ ඇයට දැන් ස්වර්ගයට යන්නට අවශ්‍ය බවත් සැවොම විසිර යන ලෙසත්ය. එසේ කියා වෙනතක නෙත් යොමු කල ඇය මියෙනතුරුත් ඒ ඉරියව්වෙන්ම සිටියාලු.
සියළු බැඳීම් වෙනුවෙන් යුතුකම් ඉටුකල, අවසන සියලු බැම්මෙන් මිදුනු ඇය මා දන්නා හැටියට නම් බුදු දහමටත්, කිතු දහමටත් මේ ලොව හැම ආගමකටමත් අනුකූල අනුගත මෝක්ෂය ලැබූ කෙනෙකි. ඈ සිතූ පරිදිම ඇගේ අවසන් කටයුතු මිනුවන්ගොඩ කිතුනු සුසානභූමියට රැගෙන යන්නට පුළුවන් විය. සොහොන් බිම නුදුරේ තිබි ඇගේ පුතෙකුගේ නිවහනේ තැන්පත් කොට තිබූ ඇගේ සිරුර ට අවසන් ගෞරවය දක්වන්නට අමනාප ව සිටි නෑයෝ පවා පැමින සිටියහ. ඇය තරුණ කාලයේ ඉතා ම ලස්සන හුරුබුහුටි කෙල්ලකව සිටි බව බොහෝ දෙන කියයි. තරුණ කල පමණක් නොව ඒ ලස්සන හුරුබුහුටි බව ඇගේ වියැකුණ සිරුර තුලත් තිබුනේ යයි හඟිමි. ගීතිකා ගයමින් පල්ලියට ගිය පිරිස සමග මම ද එදා පැට්‍රීෂියා නැන්දා වෙනුවෙන් මොහොතකට කතෝලිකයකු වීමි. ඇගේ සොහොන මත පස් පිඩක් හෙලා ඇයට මොක්සුව පැතුවෙමි.
තිමෝතියස් මාමා ද මා හැඳින සිටියේ නම් කොතරම් අගේ ද? ලෝකය පවතින්නේ එවන් සොඳුරු මිනිසුන් වෙනුවෙනි. මා පැට්‍රීෂියා නැන්දාට හැමවිටම අමතුවේ ‘ඇන්ටී’ කියායි. එහෙත් මෙය ලියන විට මා නැන්දා කියා ඇමතුවේ ඇය මගේ හදවතේ ඇන්ටිලා වෙනුවෙන් තබා ඇති තැනට වඩා සමීප තැනක තවමත් ජීවත් වන නිසායි.
ජීවත් වන විටත් ලොකු ඉඩක් නොගත් පැට්‍රීෂියා නැන්දා ගේ සොඳුරු මතකය මෙසේ අන්තර්ජාලයේ පුංචි අවශේෂ තැනක, සුවඳ විඳිනු රිසි සැවොම වෙනුවෙන් තබන්නෙමි.
-
Search It!
-
Recent Entries
-
සබැඳුම්
