අයියා නංගී

පැට්‍රීෂියා නැන්දා දැන් අපෙන් වෙන්වී වසර 6 ක් පමන වන්නට ඇත. ඇය මගේ අයියාගේ නැන්දම්මායි. අප වෙනුවෙන් ගස් ගල් පෙරලා කඳු සමතලා කල අපේ අම්මාට වඩා ඇය හාත්පසින්ම වෙනස්ය. එහෙත් ඇය අප සැමටම තබා ගිය මතකයන් ඕනෑම රළු පරළු මොහොතක සිත නිවාලන්නට සමත්ය.
මා දන්නා හැටියට ඇගේ මුළු ජීවිත කාලයම, කිසිවකුගෙන් කිසිවක් නොඉල්ලා, කිසිවෙකුට කරදරයක් නොවී ගත කලාය. ඇගේ විවාහය ඈට ඈ ඇදහූ ආගම අහිමි කලාය. ඇගේ බොදු සැමියා විවාහයත් සමගම ඇගේ කතෝලික ඇදහිල්ල ට තිත තැබුවේය. මෙය දැන් නම් ඉතා කුරිරු දෙයක් ලෙස පෙනෙන්නට ඉඩ ඇතත් අප ඒ දෙස බැලිය යුත්තේ ඒ යුගයේ සිතුම් පැතුම් අනුව යයි සිතමි. ආගමික සංහිඳියාව ගැන දැන් තරම් වත් හැඟීමක් නොතිබි එකල, විවාහය කෙනෙකුගේ භක්තිවන්ත භාවයේ අවසානය බවට පත් වුන අවස්ථා එමටය.
පැට්‍රීෂියා නැන්දා ට එලෙස සිය ආගම අහිමි කරනු ලැබීම නිසා මගේ අයියා විවාහ වූ අක්කා බොදුනු විය. ඇගේ පියා පන්සල් ගියේද, බුද්ධාගම ඇදහුවේදැයි මම නොදනිමි. එහෙත් පැට්‍රීෂියා නැන්දා නම් කිසි දිනක සිය කිතුනු බැතිය අත් හලේ යයි නොසිතමි.
ඇගේ සැමියා මිය යාමෙන් පසු දරුවන් ගේ රැකවරණයට පත්ව මගේ අයියාගේ නිවසෙහි ජීවත් වූ පැට්‍රීෂියා නැන්දා නැවතත් බාධාවකින් තොරව දෙවියන් යදිනු දැක ඇත්තෙමි. ඈ දරු මුනුපුරන් කෙරෙහි දැක්වූ ආදරය නිර්මල එකකි. කිසිවකුට තරවටු කරනු හෝ ඇගේ මතයේ එල්බ සිටිනු දැක නැත්තෙමි. ඇය සියලු දෙනා ට සමාව දුන් අයෙක් විය. බිතු සිතුවමක් මෙන් කිසිවිටක පිටු නොපෑ ඇගේ සැබෑ අව්‍යාජත්වය මා දකින්නේ සිද්ධි කිහිපයක් ඇසුරෙනි.
ඇයට යහපත් අයියා කෙනෙකු සිට ඇත. ඔහු නමින් තිමෝතියස් පෙරේරා විය. මේ සටහන තබන්නේ පැට්‍රීෂියා නැන්දාට මෙන් ම ඔහුටද උපහාරයක් ලෙසිනි. තිමෝතියස් පෙරේරා චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැළුනු කෙනෙක් බව දනිමි. දෛව යෝගය නම් චිත්‍රපටයේ ‘උප ලේනා’ නම් සැලකියයුතු චරිතයකට පණ දී ඇත්තේ ඔහුය. ඊට අමතරව චිත්‍රපට වල තිරයෙන් පසුපස සැලකිය යුතු කාර්ය බාරයක් ඔහු විසින් ඉටු කර ඇත. මම ඒගැන වැඩි දුර නොදනිමි. මා තිමෝතියස් පෙරේරා දැක නැත. මේ සමග ඇති පින්තූරයේ “ඩයලොග් මාස්ටර්” ලෙස පොතක් අතැතිව සිටින්නේ ඔහුයි!

පැට්‍රීෂියා නැන්දලා එකල බොහෝ මධ්‍යම පාන්තිකයින් මෙන්, විවාහයෙන් පසු තැන තැන කුලී නිවැසියන් ලෙස ජීවත්ව ඇත. එකල දැන් මෙන් කුලී නිවෙස් සෙවීම එතරම් අපහසු නොවීය. එක නිවසක අවුරුදු ගණනාවක් පදිංචිව සිටීමත් අරුමයක් නොවීය. අත්තිකාරම් , “කී මනී” යනාදිය කෙනෙකුට ඔරොත්තු දෙන අන්දමෙන් තිබුනි. ඒ නිසා සමහරු තමන් ගේ නිවෙස් තිබියදීත්, තවත් සමහරු නිවසක් ඉඳි කිරීමේ කිසිදු උවමනාවක් නැතිවත්, ජීවිත කාලයම කුලී නිවෙස් වල ගෙවා දැමූහ. නිවාස ණය ක්‍රම තිබුනේම නැති තරම්ය. එනිසා නිවෙස් ඉඳි කෙරූවෝ සෑහෙන මූලික ධනස්කන්ධයක් අතැතිව ඒ කාරියට අත තැබූවෝ වූහ. ගඩොලින් ගඩොල හෙමින් හෙමින් ගෙවල් තැනුවන් ද නොසිටියේ නොවේ. එහෙත් පැට්‍රීෂියා නැන්දාගේ සැමියා එහෙව් අයෙකු නොවූ බවයි මා දන්නා තරම නම්.
ඉතින් පැට්‍රීෂියා නැන්දලා ලංකාවේ නොයෙක් කොදෙව් වල කුලී නිවෙස් වල පදිංචි වෙමින්, හරිමින් යන කල අපේ පවුලද එලෙසම කුලී ගෙන් ගෙට යමින් අවසන එකම පෙදෙසක පදිංචි වීමේ අවසන් ප්‍රතිඵලය තමා මගේ අයියා සහ පැට්‍රීෂියා නැන්දාගේ දුවත් අතර හමුව ! ඒ පන්නිපිටියේදීය .
පැට්‍රීෂියා නැන්දලා නැවත කුලී නිවෙස් වල පදිංචි නොවූහ.ඇගේ පිහිටට ආවේ කලින් සඳහන් කල තිමෝතියස් අයියාය. ඔහු ඇයට නිවසක් මිලදී ගෙන දුන්නේය. මා දන්නා හැටියට ඔහු සොයුරු සොයුරියන්ට ආදරයෙන් සිටි අයෙකි. එ නිසාම විවාපත් නොවීලු.එහෙම හිතු හැටියේ නිවෙසක් මිලදී ගෙන දීමට තරම් ධන කුවේරයකු නොවුනත්, තිමෝතියස් අයියා කලක සිට නංගී ගැන කනස්සල්ලෙන් පසුවන්නට ඇත, කුලී නිවෙස් වල ජීවත් වීම එකල සාමාන්‍ය දෙයක් වුවත් එය පහසු දෙයක් යයි වරදවා සිතන්නට එපා. අදටත් වඩා නිවෙස අයිතිකරු සිය කුලී ගෙවල් වතු පිටි වල රවුම් ගසමින් සිය ආධිපත්‍යය පෙන්වූ යුගයකි එය. මා කුඩා කල අප සිටි කුලී නිවසක අයිතිකරු දවාලක කිසිදු ආරාධනාවක් නොමැතිවම ගොඩ වැදී ” මොකද මේ මකුලු දැල් කඩලා නැත්තේ” කියා අම්මාගෙන් විමසූ හැටිත්, අම්මා අසරණ වූ සැටිත් එවකට පලමු ශ්‍රේණියේ සිටියත් මට ද එය දැනුනු හැටිත් අද මෙන් මතකයි.
විදේශයක ජීවත් වන මගේ යහළුවකු ලංකාවේ ඇති සිය මහ ගෙය පිරිමි දරුවන් වන තමා හා මල්ලී අතර බෙදී යා යුතු බවට රණ්ඩු කොට එහිද ඉඩමේ ඉදිරි කොටස සහ පසු පස කොටස කාසියේ වාසිය අනුව තීරණය කරවා ගන , ඔප්පු තිරප්පු ලියවාගන නැවත විදේශ ගත වූවේය. නිවසේ එවකට විවාපත් නොවූ අක්කලා දෙදෙනකුත් හන්දිපත් රුදාවෙන් අපමණ දුක් විඳින මව ත් පමණි ජීවත් වූවේ. ඒ සිද්ධියෙන් පසු ඔහු ගැන මා තුල ඇතිවූ කලකිරීම කිසිදා අඩුවන්නක් නොවේ.
තිමෝතියස් අයියා නම් එහෙම නොවේ. ඔහු මහන්සියෙන් ඉපැයූ දෙයින් නංගීගේ ජීවිතයට සාමය ගෙන ආවේය. ඒ නිවස පැට්‍රීෂියා නැන්දා ගේ දරුවන්ට මහත් අස්වැසිල්ලක් විය. මගේ අයියා ගේ කුඩා පවුල ඔවුන්ගේ නිවෙස ගොඩනගන කාලයේ ම ජීවත් වුවේ එහිය. එමෙන්ම පැට්‍රීෂියා නැන්දාගේ තවත් පුතෙකුත් ඔහුගේ පවුල සමග කාලයක් තිස්සේ ‘ඉගිලෙන්නට’ තරම් සවියක් එනතුරුත් පදිංචිව සිටියේ එහිය. ඒ අන්දමින් බලන කල තිමෝතියස් මාමා තවත් පවුල් දෙකකට නිවහන් සාදාදීමට අනියමින් උදව් කොට ඇත. මෙවන් මිනිසුන් ගේ සුවඳ සදා කල්හිම පවතියි, මා ඔහු දැක නැතත් ඔහුට මේ උපහාර සටහන තබන්නේ ඒ නිසයි.
මේ සමග පලවන ඡායාරූපය 1982 ජනවාරි 21 වනදා පලවූ ‘සිත්සර’ නම් සිනමා පුවත් පතකට තිස්ස අබේසේකර විසින් ලියූ ලිපියක් සමග පලවූවකි. මේ පත්තරය පැට්‍රීෂියා නැන්දා අත පත් වූවේ කෙලෙසකදැයි නොදනිමි. මා අනුමාන කරන අන්දමට ඒ වන විට තිමෝතියස් මාමා මිය ගිහින් ( ?).සිය අයියාගේ ඡායාරූපය දැක එය සුරැකිව තබාගත් ඇය සතුව ‘තිමෝතියස් අයියාගේ’ වෙනත් කිසිම සේයාරුවක් නොතිබිනි.පසුකලක එය ඡායා පිටපත් කරන්නට ගොස් මගේ අයියා අතින් මේ පුවත් පත් පිටුව නැතිවී , ඉමහත් වෙහෙසක් දරා මෙය නැවත සොයා ගත්තේ පැට්‍රීෂියා නැන්දා ට නොදැනෙන ලෙසය. මේ පත්තරය පැට්‍රීෂියා නැන්දා විසින් අවසාන දින දක්වාම සුරැකිව තබා ගැනුනු වස්තුවක් විය.
පැට්‍රීෂියා නැන්දා , අන් අය මෙන් ජීවිතය ගැන කිසි කලක මැසිවිලි නැගුවේ නැත. ඇය ඉතා සිහින් කටහඬින් අවශ්‍ය දෙයට පමණක් කතා කලාය. අපේ අයියාගේ නිවහන තුල කිසිවකුට කරදර නොකොට සාමකාමීව විසුවාය. ඇගේ හිත කනස්සලු කල එකම එක් දෙයක් පමණි තිබුනේ. එනම් කලකට පෙර ඇය පල්ලියෙන් ඉවත් වූ නිසා නැවත එයට ඇතුලත් වන්නට නොහැකිව තිබි ලතැවිල්ලයි. මිනුවන්ගොඩ පල්ලියේ සුසානයේ භූමදානය වන්නට නොහැකි වේයයි ද ඈ කිහිපවරක් කියා ඇත. පල්ලියේ පොතකට නැවත නම ඇතුලත් කලයුතුව තිබිනි.
මෙවන් සංවේදී දේවල් පැහැර නොහරින අයියා පල්ලියේ පියතුමා හමුව කතාකොට නැවත ඇය පල්ලියට අනුයුක්ත කරන්නට වැඩ සැලසුවේය. ඇගේ ජීවිතයේ කෙනෙකුගෙන් උදව් උපකාර ඉල්ලූ අවස්ථා අතලොස්සෙන් එකකි ඒ. ඇය ඒ ගැන සැබවින්ම සතුටු වූවාය.
ඇය සිය සිරුරෙන් නිදහස් වන්නට පෙර ඈ සතු සැමදෙයම දරු මුනුපුරන් ට ලබා දුන්නාය ඉමහත් ධනස්කන්ධයක් නොවූවත් තුටු සිතින් ඈ සියල්ලෙන්ම මිදුනාය. මෙරට සිටි දරු මුනුපුරෝ හැමදෙනම අවසානයේ ඇගේ ඇඳ අසල සිටියෝය. සැමට කතා කල ඈ අවසන් වරට ඇගේ අසනීප තත්ත්වය නිසා පැමිණ වැඩ කල ඇගේ වැඩිමහල් දුවට සමු දුන්නාය. ඉන් පසු සැමට කීවේ ඇයට දැන් ස්වර්ගයට යන්නට අවශ්‍ය බවත් සැවොම විසිර යන ලෙසත්ය. එසේ කියා වෙනතක නෙත් යොමු කල ඇය මියෙනතුරුත් ඒ ඉරියව්වෙන්ම සිටියාලු.
සියළු බැඳීම් වෙනුවෙන් යුතුකම් ඉටුකල, අවසන සියලු බැම්මෙන් මිදුනු ඇය මා දන්නා හැටියට නම් බුදු දහමටත්, කිතු දහමටත් මේ ලොව හැම ආගමකටමත් අනුකූල අනුගත මෝක්ෂය ලැබූ කෙනෙකි. ඈ සිතූ පරිදිම ඇගේ අවසන් කටයුතු මිනුවන්ගොඩ කිතුනු සුසානභූමියට රැගෙන යන්නට පුළුවන් විය. සොහොන් බිම නුදුරේ තිබි ඇගේ පුතෙකුගේ නිවහනේ තැන්පත් කොට තිබූ ඇගේ සිරුර ට අවසන් ගෞරවය දක්වන්නට අමනාප ව සිටි නෑයෝ පවා පැමින සිටියහ. ඇය තරුණ කාලයේ ඉතා ම ලස්සන හුරුබුහුටි කෙල්ලකව සිටි බව බොහෝ දෙන කියයි. තරුණ කල පමණක් නොව ඒ ලස්සන හුරුබුහුටි බව ඇගේ වියැකුණ සිරුර තුලත් තිබුනේ යයි හඟිමි. ගීතිකා ගයමින් පල්ලියට ගිය පිරිස සමග මම ද එදා පැට්‍රීෂියා නැන්දා වෙනුවෙන් මොහොතකට කතෝලිකයකු වීමි. ඇගේ සොහොන මත පස් පිඩක් හෙලා ඇයට මොක්සුව පැතුවෙමි.
තිමෝතියස් මාමා ද මා හැඳින සිටියේ නම් කොතරම් අගේ ද? ලෝකය පවතින්නේ එවන් සොඳුරු මිනිසුන් වෙනුවෙනි. මා පැට්‍රීෂියා නැන්දාට හැමවිටම අමතුවේ ‘ඇන්ටී’ කියායි. එහෙත් මෙය ලියන විට මා නැන්දා කියා ඇමතුවේ ඇය මගේ හදවතේ ඇන්ටිලා වෙනුවෙන් තබා ඇති තැනට වඩා සමීප තැනක තවමත් ජීවත් වන නිසායි.
ජීවත් වන විටත් ලොකු ඉඩක් නොගත් පැට්‍රීෂියා නැන්දා ගේ සොඳුරු මතකය මෙසේ අන්තර්ජාලයේ පුංචි අවශේෂ තැනක, සුවඳ විඳිනු රිසි සැවොම වෙනුවෙන් තබන්නෙමි.

පොඩි අයියා

පොඩි අයියා අප හැර ගිහින් දැන් අවුරුදු 8 ක්. කොයි දේත් පිලිවෙලකට කරපු පොඩි අයියා කිසිම දෙයක් පිලිවෙලකට කරපු නැති මට කොයි තරම් අවවාද දෙන්න ඇතිද?මම ඒවා පිලිපදින්නෙ නැති බව දැන දැනත් අන්තිම දවස වෙනකනුත් මට මොකක් හරි දෙයක් කිව්වා.
එකඟ නොවීමට එකඟ වෙලා හිටි අපි දෙන්නා මොනතරම් දේවල් ගැන කතා කරන්න ඇතිද? අපි දෙන්නා වයසට ගිහින් වැඩි දුර ගැඹුරින් සාකච්ඡා කරන්න පැත්තකට කරපු මාතෘකා කොච්චර ඇතිද? ඒවා ගැන කතා කරන්න කොහේ හරි තැනකදී මට අයියාව ආපහු හම්බ වේ යයි කොයි වෙලෙත් හිත කියනවා.
අයියේ උඹ දැන් අවුරුදු 7 -8 ක පුංචි කොල්ලෙක් ( කෙල්ලෙක්) ද? එහෙමත් නැත්තම් අපි එනකම් කොහේ හරි ඉඳන් බලා ඉන්නවද? උඩක් යටක් නැති බව දැන දැනත් මට අහස දිහා බැලුවම උඹව මතක් වෙන්නේ ඇයි?
හිතාගන්නවත් බැරි දේ තමයි, උඹ වගේ සංවේදී එකෙක් ඇයි ‘බිස්නස්’ කරන්න හිතුවේ කියන එක. ඇයි ඒක උඹට නොගැලපෙන බව දැන දැනත් කවුරු නැතත් මම වත් උඹට මොනවත් නොකීවේ කියන එක.
ගොඩනැගිලි ද්‍රව්‍ය වගේ රළු දෙයක් විකුණන එක උඹට එපා වුන එක පුදුමයක් නොවෙයි.
කලබලේ වැඩ දාහක් මැද සිමෙන්ති , ගල් ,වැලි අතරින් පැනලා ගිහින් නාට්‍යයක් බලපු, කෞතුකාගාරයක් ඇතුලට රිංග ගත්තු, පරණ ඉස්කෝල පෙල පොතක් දැක්කොත් ඒක අරන් ඇවිත් “මේ ඒ කාලෙ පොත්” කියලා දුවට පෙන්නපු, උඹ ලිස්සලා අපෙනුත් පැනගත්තාද?
ඔයා ගියාට පස්සෙ මොන අපහසුකම් තිබ්බත් අද වෙනතුරුත් කිසි දෙයක් වැරදුනේ නෑ ඔයා ගෙ ගෙදර අයට. දූරු දෙන්නගෙ ඉස්කෝල ප්‍රශ්න විසඳුනා.ලොකු ආර්ථික කරදර තිබ්බෙ නෑ. ඒගොල්ලන්ව කවුරුත් අත හැරියේ නෑ. හැම දේම හොඳයි, ඒකමයි දුක වැඩි.
ඔයා විතරමයි අඩු! කට්ටිය ඉස්සර වගේ ආයේ එකතු වෙන්නේ නෑ. ඔයා වගේ ආදරෙන් අම්මා බලාගන්න මට තේරෙන්නේ නෑ. ඔයා ඉන්න තැන තිබුන එලිය විතරමයි අඩු.
ඔයා හිටි කඩයත් අන්තිමේදි එතනින් අයින් වෙලා.ඉස්සර එතනින් යන වෙලාවට මම යාන්තමට එතන පෙනෙන්න නොපෙනෙන්න බලනවා. ඔයා එතන ඉන්නවයි සිතාගන හිත රවට ගන්නවා.

යනෙනා විටදි නුඹ හිටි පොඩි කඩය ලඟින්
යටැසින් හොරෙන් බලනෙමි මම නෙතු කොනකින්
ඇසිපිය හෙලන නොහෙලන එක් අසුරු සැණින්
පෙනිලා නොපෙනිලා ඇවිදින් යන්න වරෙන්

මැරුණාම ආයෙ උපදින්නෙ තමනුත් නොවෙයි තමන් නොවෙයිත් නොවෙයි වගේ කතාවක් බුද්ධාගමේ කියලා තියන බව මම දන්නවා.ඒත් මට සහතිකයි මට නම් ඔයා කවදා හරි හමුවෙන බවට.එන සැරේ පොඩ්ඩක් අපිලිවෙලට ඉඳපන්. හුඟක් දේවල් ගැන ගොඩක් දුරට හිතන්න එපා. ඒත් මතක ඇතුව කම්මුල් වල ගැහෙන හිනාව අරන් වරෙන්!

චිකන්

“පාර හොයාගන්න අමාරු වුනේ නෑ නේද පුතා” තරුෂිගේ අම්මා ආවේ එහෙම කියාගන. මම මේ පාරේ ඉස්මත්තට තරුෂිව දැන් අවුරුද්දක් තිස්සේ ඇරලවනවා. තරුෂිගේ අම්මා ඒ බව නොදැන වගේ මගෙන් මේ ප්රශ්නය අහනවා. අද තමයි මම නිල වශයෙන් තරුෂිලාගේ ගෙදර එන පලමුවෙනි දවස. තරුෂිගෙ තාත්තා රට ඒ හින්දා මට මේ ඉන්ටවීව් එකට මූන දෙන්න වෙන්නෙ අම්මා එක්ක.
අපේ ගම වත ගොත , අම්මා , තාත්තා , නැන්දලා, මාමලා හැමෝ ගැනම විස්තර කියන්න සිද්ධ වුනා. එතකොට තමයි මට ත් හිතුනේ එච්චර නෑයෝ පිරිසක් ඉන්නවා නේද කියලා.තරුෂිලාගේ පුංචි අම්මා බැඳපු බාප්පාගේ මල්ලි කෙනෙක් බැඳලා ඉන්නේ අපේ නැන්දා කෙනෙක් ගෙ දුවක් එක්ක බව මේ කතාවෙදි එලිවුනා. ඒ අක්කාව දැකපු කාලයක් මතක නැති වුනත් මෙතනදි එයා මගේ referee කෙනෙක් බවට පත්වෙලා.
ගිය සුමානෙ දවසක තරුෂි එක පාරට මෙහෙම කිව්වා ” අම්මා කිව්වා දැන් ඔය පාර උඩහට ඇවිල්ලා යන එකයි, එහෙ මෙහෙ යන එකයි නවත්තල ගෙදර එන්න කියලා”.අවුරුදු ගානක් එහෙමෙහෙ ගියාට පස්සෙ උදා වෙන දවස මටත් උදා වෙලා. එහෙ මෙහෙ නොයා දැන් මට තියන්නෙ නිතර නිතර මෙහෙ යන එන එක!
විශේෂයෙන්ම තාත්තා රට ඉන්න නිසා, අපේ එහෙ මෙහෙ යාම් අඩු කල යුතු බව තරුෂිගෙ අම්මාගේ හමාර දේශනයෙදි අවධාරණය කෙරුනා. ඊට පස්සෙ උදා වුනේ “ඔය දෙන්නා ටිකක් කතා කර කර ඉන්න, මම කෑම ලෑස්ති කරලා කතා කරන්නම්.. ” , පැය. තරුෂිගෙ නංගිත් කොහෙදෝ ඉඳලා අමුතු හිනාවක් දාගන පෙනී නොපෙනී ගියා. තරුෂි එක්ක කතා කරන්නත් දෙයක් නෑ වගේයි දැනුනේ. “මොකද බය වෙලාද” – ” නෑ ” . තනි වාක්ය දෙබස් වලින් පැයකට විතර පස්සෙ කෑම මේසෙට යන්න සිද්ධ වුනා.

කෑම ! …………………………..

“දුව කිව්වා පුතා වෙජිටේරියන් කියලා. ඒත් මම කිව්වා ඉතින් වැදගත් දවසක් හින්දා චිකන් ටිකක් කයි කියලා”.රතු දුඹුරු පාට හොද්දක මැරිච්ච කිකිලියකගේ කෑලි පාවෙවී තිබුනා. ඊට අමතරව කුකුලෙකුගේ අත්තටු, හරියට කට්ලට් වගේ බැදලා පැත්තක! ෆ්රයිඩ් රයිස් එක ඇතුලේ මිශ්රවෙලා තියන්නෙත් තම්බපු කුකුලන්ගේ කෑලි ! මෙතන චිකන් වැඩ කෝටියයි! “නෑ මම සත්තු කන්නේ නෑ” කියලා කියන්න පුළුවන් කිට්ටුවන්ත කමක් තරුෂිගෙ අම්මත් මාත් අතර නෑ. ඒ හින්දා මට චිකන් කන්නම වෙනවා.
“මම මස් මාළු කාපු කාලයක් මතක නෑ”
“තාත්තා එපා කිව්වාද?”
“නෑ පොඩි කාලෙ කෑවා, ඒත් ඉතින් පස්සෙ තේරුනා සත්තු, එහෙම අපි හින්දා මැරෙන එක හරි නෑ කියලා. ඔව් තාත්තා තමයි ඒවා කියලා දුන්නේ. ඒත් කන්න එපාය කියලා කිව්වෙ නෑ කවදාවත්”
“ඔයා කරවල, බිත්තර එහෙම කන්නෙත් නැද්ද?..එතකොට උම්බලකඩ..?”
“නැහැ !”
ඉස්සර දවසක මම තරුෂිට එහෙම කිව්වා.

ඊට පස්සෙ ඉඳලා තරුෂි මට ගෙනාපු බත් එකේ ගෙනාවෙ එලවළු විතරයි. හැබැයි ඒකේ හැමදාම, පොලොස්,හතු වගේ රතු පාට මොනව හරි තිබුනා.”එහෙම හදන්න ඕන නෑ ” කියලා මම කොච්චර කිව්වත් “ඉතින් බබා එහෙම නැතුව රස නෑනෙ” කියලා තරුෂි කියනවා.එලවළු වලත් රසක් තියෙනවා. සත්තු කන දිවට ඒක දැනෙන්නෙ නෑ.
මට චිකන් කන්න සැලැස්වීම බලහත්කාරකමක් කියලා , තරුෂිට තේරෙනවද? මට හරියටම කියන්න බෑ. තරුෂිගෙ අම්මා මගේ කෑම පිඟානට කිකිලියගෙ කකුලක් බෙදුවා. කොහේ හෝ ෆාම් එකක හිර වෙලා හරියට සිරුරේ බරවත් දරාගන්න බැරුව තිබුන කකුල මට කන්නම වෙනවා.තරුෂි පපුව කෑල්ල අතට අරන් , සියුමැලි ඇඟිලි වලින් ඉතාම දක්ෂ විදියට, මස් කෑලි රහිනවා,පුංචි බත් කටක් ඇතුලේ මස් කෑල්ල හැංගෙනවා.
“අපිත් මේ ගේ පලාතට හරක් මස් නම් ගේන්නෙවත් නෑ, ” තරුෂිගෙ අම්මා කිව්වා . මම කකුල් කෑල්ලෙ උඩ හරියෙන් මස් කෑල්ලක් කොනහලා බත් එක්ක මුසු කර ගත්තා.
ඔව් හරකා ගෙන් අපිට ප්රයෝජන ගොඩයි, සමහර ආගම් වල අයට හරකා පූජනීයයි! ගව ඝාතනය ගැන කොච්චර නම් ලියැවිලා ඇත්ද? අසරන කිකිලිය ගැන කවුරුත් කියන්නේ නෑ. ඌට පිහාටු තියන නිසාද? කකුල් දෙකක් විතරක් තියන නිසාද?බුද්ධාගමේ හැටියට සත්තුන්ට දුක දීලා මරන්න හොඳද? මරලා කන්න හොඳද? එහෙම නොවෙයි නම් අපිට අඩු ගානේ නිර්මාංශ ආහාර සංස්කෘතියක් වත් නැත්තෙ ඇයි? වෙජිටේරියන් කඩයක් කියන්නේ , දෙමල කෑම විතරක් ම තියන කඩයක් වුනෙ කොහොමද? මෙච්චර කාලයක් නොහිතුනු බහුබූත ඇයි මට මේ වෙලාවෙම හිතෙන්නේ?
“ දැන් තියන්නේ කොහොමහරි මේ කකුල පිලිවෙලකට කන එකයි! “ බුද්ධිය මට එහෙම කිව්වා. වවුලාගේ මගුල් ගෙදර! මම ඉන්නෙ එතන.
ඊට පස්සෙ වෙච්ච දේවල් මට අපැහැදිලියි. තරුෂිලාගෙ ලේන් එකෙන් එලියට ආව ගමන්ම , කොහේ ද ඉඳලා ආපු සුලං රැල්ලක් මාව බදාගත්තා! දැන් මං එහෙ මෙහෙ නොයා මේ “මෛත්රී මාවතේ” වංගුව හැරිච්ච ගමන් දකුනු පැත්තේ කොලපාට ගේට්ටුව තියන ගෙදරට නිතරම එන්න ඕන.
මාව බදාගන සිසිල දුන්න සුලං රැල්ල යන්න ගියා.
ලේන් එකේ ඉස්මත්තෙන් තරුෂිව ඇරලවලා එයා වංගුවෙන් හැරෙනකම් බලා හිටපු අතීතය කොච්චර සුන්දරද?
කොහොමද නැන්දම්මා මොකද කිව්වෙ?, රූම් එකට අඩිය තියන්නත් ඉස්සර අචිරයා මගෙන් අහනවා. “නැන්දම්මා කිව්වා දුව දෙන්නම් කියලා” ,
“ඉතින් මොකෝ බං මූන එල්ලගෙන! “
“ගමේ යන්න ඕන ! “
“යකෝ මේ ගිහින් ආවා විතරනේ, පිස්සුද?”
” අද රෑ ගිහින් හෙට හවස එනවා! තාත්තාව බලලා එන්න ඕන”
“ඇයි තාත්තාට අසනීපද?”
“නෑ මට අසනීපයි !”

- 27 – 08 -2011 -

Hello world!

මේ සටහන් ලියන්නේ මගේ මතක අවදි කරන්න නොවෙයි
මේ මං ඈත ඉඳන් දැකපු දේවල් 
ලඟ ඉඳන් විඳපු දේවල්
හිතේ තියන කාටවත් කිව්වේ නැති දේවල්
කීවත් කාටවත් ඇහුනෙ නැති දේවල්
කාලයක් අවකාශයක් නැති කොහේ හරි තැනක
කවද හරි දවසක කාට හරි......වෙන්න තියන...